රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ පිළිකා නාශක එන්නත මේ වනවිට පුවත් මවයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දී ඇත්තේ මෙම එන්නත පිළිකා ආසාදනය වූ රුසියානුවන් සියලු දෙනාට නොමිලේ ලබා දෙන බවය. මෙම එන්නත නම් කර ඇත්තේ එන්ටරෝමික්ස් Enteromix යනුවෙනි. මෙම එන්නත mRNA තාක්ෂණය භාවිතයට ගනිමින්, නිර්මාණය කරන ලද්දකි.
මතකද කොවිඩ් 19 වසංගතය ලොව පුරා ඔඩුදුවද්දී, ලොව ප්‍රධාන පෙළේ රටවල් ඔවුන් සතු තාක්ෂණය භාවිතයට ගනිමින් කොවිඩ් 19 වයිරසය පාලනයට ප්‍රතිශක්තිකරණ එන්නත් ලහිලහියේ නිපදවීය. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග හතරකට නිර්මාණය විය. එයින් එක් සාර්ථක එන්නත් වර්ගයක් වූයේ mRNA එන්නත්ය. රුසියාවේ ගමාලෙයා ජාතික අණුක ජීව විද්යා පර්යේෂණ මධ්යස්ථානයේ විද්යාඥයන් කොවිඩ් 19 වයිරසයට එරෙහිව සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් නිර්මාණය කළේ ස්පුට්නික් 5 යනුවෙනි.
mRNA යනු Messenger Ribonucleic Acid යන්නෙහි කෙටි යෙදුමය. සරලව පැහැදිලි කළොත් mRNA යනු අප සිරුරේ ඇති සෛල තුළ වැදගත් කාර්යයක් ඉටු කරන අණුවකි. සිරුරේ ඩී.එන්.ඒ. DNA තුළ ඇති ජානමය තොරතුරු සෛලවල ප්රෝටීන් නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගෙන යෑම සිදු කරන්නේ, එසේත් නැතිනම් ජානමය තොරතුරු සෛලවල ප්රෝටීන් නිෂ්පාදනය කරන ස්ථාන වෙත ගෙන යෑමට පණිවුඩ ලබා දෙන්නේ mRNA ය. සෛලවලට අවශ්ය ප්රෝටීන නිපදවා ගැනීම සඳහා mRNA උපකාරී වෙයි.
ස්පුට්නික් 5 එන්නතේ සාර්ථකත්වය සැලකිල්ලය ගනිමින්, කොවිඩ් 19 එන්නත්වල භාවිතා කරන mRNA තාක්ෂණයම භාවිතා කරමින්, රුසියන් විද්‍යාඥයන් වසර තුනක් පර්යේෂණ කළේ පිළිකා නාශක එන්නතක් නිර්මාණය සඳහාය. එහි ප්‍රතිඵලය වූයේ එන්ටරෝමික්ස් Enteromix එන්නතය.
විද්යාඥයන්, Enteromix එන්නත නිර්මාණය කර ඇත්තේ අපට හානි නොකරන වයිරස වර්ග 4 ක් යොදා ගනිමිනි. Enteromix එන්නත එක් එක් පිළිකා රෝගියාට වෙන වෙනම ලබා දෙයි. ඒ, එම රෝගියාගේ ඩී.එන්.ඒ.වලට අනුව එය නිර්මාණය කිරීමෙනි. පොදුවේ සියලු පිළිකා රෝගීන්ට Enteromix එන්නත ගැලපෙන්නේ නැත. පිළිකා වර්ග අනුව ද එන්නත විශේෂයෙන් සකස් කිරීමක් සිදුවෙයි. එන්නතට යොදා ගන්නා වයිරස 4, සෘජුවම පිළිකාමය ගෙඩි (tumors) විනාශ කිරීමේ අරමුණින් මේවා නිර්මාණය වෙයි. වයිරස, පිළිකාවට එරෙහිව ශරීරයේ ප්රතිශක්තිකරණ ප්රතිචාරය (anti-tumor immune response) තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වෙයි. සිරුරේ ප්රතිශක්තිකරණය යොදා ගනිමින් පිළිකාව මර්දනය කෙරේ.
මූලික වටයේ සායනික අත්හදා බැලීම්වලදී, මෙම එන්නත, ඉතා ආරක්ෂිත බව තහවුරු වී ඇත. පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීම හෝ ඒවා වර්ධනය වීම අඩපන කිරීමට මෙම නව එන්නත සමත් වී ඇත. සෑම රෝගියකුටම ඔහුගේ සිරුරට ගැලපෙන පරිදි එන්නත ඔහු හෝ ඇය වෙනුවෙන් ම නිර්මාණය කෙරේ. Enteromix එන්නත නිල වශයෙන් හඳුන්වා දීම මේ වනවිට සිදුවී අවසන් වන අතර, ඔක්තෝබරයේ සිට, එය මේ වනවිට අසාධ්ය තත්වයේ සිටින පිළිකා රෝගීන් කිහිප දෙනකුට ලබා දීමට තීරණය කර ඇත.
එන්නතේ නිෂ්පාදන පිරිවැය රුබල් 300,000 (ඇමරිකානු ඩොලර් 2,870) කි. එසේ වුවත්, සියලු රුසියාවේ සියලු පිළිකා රෝගීන්ට එය නොමිලේ ලබා දෙන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම සැබැවින්ම අපූරුය.
එන්නත නිර්මාණයේ දී රුසියාවේ ජාතික වෛද්ය පර්යේෂණ රේඩියෝලොජිකල් මධ්යස්ථානය (National Medical Research Radiological Centre), රුසියානු විද්යා ඇකඩමියේ එංගල්හාර්ඩ් අණුක ජීව විද්යා ආයතනය (Engelhardt Institute of Molecular Biology) එක් වි ඇත. එන්නතේ මුල් සායනික අත්හදා බැලීම් සාර්ථක බව පැහැදිලි කරමින්, එන්නත ගැන ලොවට හෙළි කළේ රුසියානු ෆෙඩරල් වෛද්ය හා ජෛව ඒජන්සියේ (FMBA) ප්රධානී, වෙලොනිකා ස්ක්වොර්ටස්සෝවා ය.
පිළිකා යනු ශරීරයේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. සිරුර ට්රිලියන ගණනක සෛල වලින් සමන්විත වන අතර, සාමාන්යයෙන් මෙම සෛල වර්ධනය වී, බෙදී, අවශ්ය වූ විට මිය යයි. නමුත් පිළිකාවකදී, සෛල පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගනී. මෙම අසාමාන්ය සෛල, නිරෝගී සෛල මෙන් නොව, මිය නොයන අතර, අඛණ්ඩව බෙදී නව අසාමාන්ය සෛල නිපදවයි. පිළිකා ඇතිවීමට ප්රධාන හේතුව සෛලයේ ඩි.එන්.ඒ. (DNA - deoxyribonucleic acid) වල සිදුවන වෙනස්කම් (mutations) ය. ඩි.එන්.ඒ. යනු සෛලයේ ක්රියාකාරීත්වය මෙහෙයවන ජානමය තොරතුරු අඩංගු අණුවය. ඩි.එන්.ඒ වල හානි සිදුවූ විට, සෛලය අලුත්වැඩියා විය යුතුය, නැතිනම් මිය යා යුතුය. නමුත් පිළිකා සෛල වලදී, මෙම හානි වූ ඩි.එන්.ඒ අලුත්වැඩියා නොවී, පාලනයකින් තොරව සෛල බෙදීමක් සිදු වේ.
උරුමයෙන් ලැබෙන ජානමය වෙනස්කම් නිසා පිළිකා හට ගනී. දුම්බීම, හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම, විෂ රසායනික ද්රව්ය (ඇස්බැස්ටස්, කාර්මික රසායනික) සහ විකිරණ නිසා පිළිකා වර්ධනය වෙයි. HPV - මානව පැපිලෝමා වයිරසය, හෙපටයිටිස් වයිරස නිසා මෙන්ම බැක්ටීරියා නිසා ද පිළිකා තත්වයන් නිර්මාණය වෙයි. පවුලේ සමීප ඥාතීන්ට (මව, පියා, සහෝදර සහෝදරියන්) පිළිකා ඇත්නම්, ඔබටත් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය.
ශ්රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා අතර පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, සහ ඩිම්බකෝෂ පිළිකා ප්රමුඛ වේ. පිරිමින් අතර මුඛ පිළිකා, පෙනහළු පිළිකා සහ ගලනාලයේ පිළිකා බහුලව දක්නට ලැබේ. බොහෝ පිළිකා, මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් පසු, සාර්ථකව ප්රතිකාර කර සුවය ලබාගත හැකිය. එබැවින්, ශරීරයේ සිදුවන අසාමාන්ය වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටීම සහ නිතිපතා වෛද්ය පරීක්ෂණ සිදු කර ගැනීම ඉතා වැදගත්ය.
0 Comments